මල ඉලව් දේශපාලනය ගැන ආයේ ලියන්නෙම නෑ කියලා හිතන් හිටියේ. ෆොටෝ එකක් දාලා වීඩියෝ එකක් දාලා පහුගිය ටිකේ මම සාමයෙන් සමාදානයෙන් හිටියා නේ. මේ කාලේ අහන්න ලැබෙන දේවල් නිසා ලියන්නම හිතුණා.
අපිට සීයට සීයක් එකඟ වෙන්න පුලුවන් පාලනයක් හදන්න නම් අපිම ගිහින් රජ වෙන්න ඕනේ. ඉතින් මම රජ උනොත් මොකද වෙන්නේ? ඡන්දෙ හම්බෙනවද නැත්ද කියන එක අමතක කරලා මම රජ උණා කියලා හිතමුකෝ...
කීදෙනෙකුට මාව එපා වෙයිද? මොන උප්පරවැට්ටියක් කරලා හරි කිරිපිටි නොමිලේ දීලා, මුලු රටේම පඩි වැඩි කරොත් කරේ තියන් නටයි. මම මස් කන එකත් තහනම් කරලා, අරක්කු බොන එකත් තහනම් කරලා දැම්මොත් ලංකාවෙ මිනිස්සු ප්‍රභාකරන් පැත්තකින් තියලා මාව මරණවා.
මහින්ද රාජපක්ෂ ගැනත් එච්චරම තමයි මිනිස්සුන්ගේ මතේ. රනිල් වික්‍රමසිංහ හිටිය කාලෙත් එච්චරයි.
කව්රුවත් කැමති නෑ ජනාධිපති කරණ හැම දේකටම. කරණ හරියෙන් වැඩි හරියක් අපි කැමති දේවල් නම් තමයි ඉතින් පැවැත්මක් තියෙන්නේ. අපිට හරි කියලා හිතෙන හෑම දේම අනික් මිනිස්සුන්ට හරි යන්නේ නෑ. අනික් මිනිස්සුන්ව අපිට ඕනේ විදිහට තියන්න අපිට අයිතියකුත් නෑ.
වැඩි දෙනෙකුට ඕනේ ලාබෙට කාලා, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන අඩුවෙන් වැඩ කරලා, මැරෙන්නේ නැතුව, ගුටි කන්නේ නැතුව ජීවත් වෙන්ට. රටේ ඒකීය භාවයයි, මාධ්‍ය නිදහසයි, මානව අයිතිවාසිකමුයි ඔක්කොම ඊට පස්සේ.
දැන් රටේ යුද්දයක්. කොටින්ට රටෙන් කැල්ලක් ගියා කියලා අපිට පාන් ද? රට කැඩුණා කියලා? එකට තිබ්බ නම් අපි යනවද මුලතිව් ඉඩම් ගන්ට? නෑ නේ.
අපි මේ සල්ලි නැතුව, කන්ට නැතුව අමාරුවෙන් ගැට ගහගෙන ඉද්දී උන් ආවා මිනී මරන්ටයි රටේ කෑලි ඉල්ලන්ටයි. හරියට උන්ට විතරයි වගේ කන්ට නැත්තේ. උන්ට විතරද ආණ්ඩුවෙන් කෙනෙහෙලි කම් කරේ? ඉතින් අපිට තද වෙන්නේ නැද්ද? ඉතින් අපිත් පටන් ගත්තා යුද්දේ... ඊට පස්සෙ නිජබිම් ද නැත්ද, ආදි වාසීන් කව්ද, උපන් බිමේ නියම උරුමක්කාරයින් කව්ද, ප්‍රශ්ණ ගොඩයි.
ඒ මදිවට උන් හින්දා ඉස්සර තරම් වත් අපිට මෙහෙ කාලා ඇඳලා ඉන්ටත් නෑ. රටේ සල්ලි වැඩි හරියක් යන්නේ උන්ට ගහන්ට. නවත්තලා හිටියත් උන් ඇවිත් ගහලා යනවා. රටේ දේපොල විනාස කරණවා; ඒකෙන් අපේ ජීවණ වියදම වැඩි වෙනවා. ඉතින් උන්ට නොගහා පුලුවන් ද? මොන කෙන්ගෙඩියක් කරලා හරි ඕක ඉවර කරලා දාන්ට ඕනේ.
අපේ හිටිය එක නායකයෙක් වත් යුද්දේ ඉවරයක් කරන්ට වැඩක් කරේ නෑ. රාජපක්ෂට කලින් හිටිය හැම කෙනාම කරේ තව කාලයක් යුද්දේ ඇදගෙන යන්ට පුලුවන් විදිහට කටයුතු කරපු එක. මේ මනුස්සයා අඩුම තරමින් මේක ඉවරයක් කරයි කියලා බලාපොරොත්තුවක් වත් තියන්ට පුලුවන්. ඒක ඉවර වෙද්දි තව මොනවා ඉවර වෙයි ද කියලා නම් සැකයි තමයි. ඒත් සැකයේ වාසිය මනුස්සයට දෙන්ට මම කැමතී.
පහුගිය අවුරුද්දේම මම ලංකාවෙ හිටියේ නෑ. හබැයි ආරන්චිය ලංකාවෙ අලුතෙන් පාරවල් හදනවා ලු. සංවර්ධන වියාපෘති යනවා ලු. ඉතින් මට ඒකත් හොඳයි.
හැබැයි ඉතින් ඇමති මණ්ඩලේ මැරයෝ පිරිලා. ආණ්ඩුවේ ඉන්න තරමක් ඉන්නේ හොර තක්කඩි. රාජපක්ෂලාට විරුද්දව කාටවත් කතා කරන්ට බැරිලු (මම විරුද්ධව කතා කරලා, ඇත්ත ද බොරුද බලන්ට අදහසක් නෑ. නිකම් මොකට ද...). මාධ්‍ය මර්ධණය කරලා ලු (ඒකට නම් මට ගාණක් වත් නෑ...). මානව හිමිකම් කැඩෙනවා ලු. බඩු හැම දෙයක්ම ගණන් ගිහින් ලු.
මම ඉතින් ඕක සාධාරණීකරනය කරනවා නෙවෙයි; ඒ උනත්, යූ ඇන් පිය ආණ්ඩුව පෙරලන්නේ කොයි වෙලේද කියලා බලන් ඉන්නේ. ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීලා කොයි වෙලේද කීයක් හරි අරන් අනික් පැත්තට පනින්නේ කියලා බලාගෙන ඉන්නේ. ඉතින් ඉන්න හාල්පාරුවෝ ටික කොහොම හරි ගාල් කරගෙන යුද්දේ ඉවර වෙනකම් ආණ්ඩුව අල්ලගෙන ඉන්නවා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ.
යුද්දේ ඉවර වෙනකම් පොඩ්ඩක් ඉවසගෙන හිටපල්ලා කිව්වොත් අපේ මිනිස්සු අර සුපුරුදු කවිය කියනවා,
"they came first for the Communists, And I didn’t speak up because I wasn’t a Communist;
And then they came for the trade unionists, And I didn’t speak up because I wasn’t a trade unionist;
And then they came for the Jews, And I didn’t speak up because I wasn’t a Jew; And then . . .
they came for me . . . And by that time there was no one left to speak up."
අනේ මන්දා... මට නම් හිතෙන්නේ ඔය කවි කිය කියා ආණ්ඩුව පෙරලන්න හදන්නේ යුද්දේ නවත්තන්න කියලා. මේ පාරත් බැරි උනොත් යුද්දේ ඉවර කරන්න ආයෙ නම් වාරයක් හම්බෙයි ද කියලා සැකයි. ඒක නිසා මේ වෙලාවේ ආණ්ඩුව පෙරලෙනවට මම කැමති නෑ.
මගේ මුළු ජීවිත කාලේම ඔය යුද්දේ තිබ්බා. යුද්දේ යද්දිත් රට පොඩ්ඩ පොඩ්ඩ දියුණු උනා. යුද්දේ නැති උනොත් මීට වඩා රට දියුණු වෙයි කියලා බලාපොරොත්තු වෙන්ට පුලුවන්. රටේ වියදමත් අඩු වෙයි, ආදායමත් වැඩි වෙයි.
මොන හාල්පාරුවා ජනාධිපති වෙලා (දේශපාලනය කරන හැම එකාම හාල්පාරුවෝය) රට කරන්ට ආවත් හොඳ වගේම නරකත් තියෙනවා. අනික තනි මිනිහෙකුට රටක් පාලනය කරන්ට බෑ. ඒකට එකතු වෙන උන් ඔක්කොම හීලෑ වෙලා ඉන්නෙත් නෑ. උන්ව ආංබාං කරන්ට හැදුවොත් උන් පිටට පිහියෙන් ඇනලා විපක්ෂෙට යනවා...
එහෙම බලපුහාම ඔය යන හැටි හොඳයි. යුද්දේ ඉවර උනාම තව හොඳ වෙයි. ඊට පස්සේ එක්කො මහින්ද හැදේයි නැත්තම් වෙන නායකයෙක් හැදෙයි. දෙකෙන් කොයික උනත් මට කමක් නෑ යුද්දේ ඉවර උනාට පස්සේ.
දේශපාලන කථා බස් බලින් වැලකී සිටීම මේ අවකාශය තුල කළ යුත්තක් මන්ද, බොහෝ අය ලියන දේ නොව, ලියන්නා කියවන්නට යන නිසාය. ලියන දේ කුමක් වුවද එය තේරුම් නොගෙන තම මතය හරියැයි කියන්නට අර අඳින නිසාය. ලිපි කියෙව්වෙමි, මමත් ඔබට එකඟ වෙමි. මා ඉපදුනු දා පටන් මේ දක්වාම, නොවෙනස්ව පැවති එකම දෙය යුද්ධය සහ වෙනස් වීමයි. ඉතින් යුද්ධයට දේශපාලන වශයෙන් හෝ, යුධමය වශයෙන් හෝ විසඳුමක් ලැබෙනවනම්, මේ මරාගැනිල්ල, නවතිනවනම්, ඒක හොඳයි කියන දේ බොහෝ පිරිස් කියනවා. අබ්බගාත වී තාරුණ්‍යය අත් වාරු දෙකකට සින්න කර දෙන්නට වූ ශ්‍රී ලාංකිකයන් බොහෝයි. ඉතින් මේ යුද්ධය සදහටම අවසන් වෙනවානම් කොයිතරම් හොඳද
ReplyDeleteදෙශපාලනය ගැන ලිව්වම එක එක්කෙනා රණ්ඩුවට එනවා. එතකොට ඒවට උත්තර දෙන්ට ගියාම මගේ හිතේ නිස්කලන්ක බව නැති වෙනවා. ඉතින් මම කැමති නෑ.
ReplyDeleteදැන් මගේ බ්ලොග් එක වැඩිය ගණන් ගන්නේ නැති නිසා කව්රුත් මේ පාර නම් කරදරයක් උනේ නෑ.
අනේ මගේ බ්ලොග් එකත් ගනන් ගන්නේ නැතුව ඉන්නවනම් කොච්චර හොඳද???..
ReplyDeleteහි හි...
ඒත් ඉතින් හිතේ තියෙන දේ නිදහසේ එළියට දාන්න නේද බ්ලොග් තියෙන්නේ?