Tuesday, August 28, 2012

දළ දේශීය නිෂ්පාදනයෙන් 6% තිබ්බොත් අධ්‍යාපණේ ගොඩ ගන්න පුලුවන් ද?

සීයට 6න් නම් බෑ... ලංකාවේ තියෙන ප්‍රධාන පාසල් එකක් වත් ආණ්ඩුවේ සල්ලි වලින් නඩත්තු වෙන්නෙ නෑ... ඒ ඉස්කෝල වල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් ගේ සහ දරුවන් ගේ දෙමාපියන් දෙන පරිත්‍යග වලින් තමය් ඒ ඉස්කෝල ඉදිරියට ඇවිත් තියෙන්නේ.

නිදහස් අධ්‍යාපනේ ඇත්තටම ඕනේ අයට විතරක් දීලා, මුදල් අය කරන්න පුලුවන් අයගෙන් මුදල් අය කරන ක්‍රමයක් ඕනේ අධ්‍යාපනේ ඇත්තටම ගොඩ ගන්න නම්.

ටික දෙනෙකුට දෙන නිදහස් අධ්‍යාපණේට වඩා, හැමෝටම අධ්‍යාපණේ ලබන්න අයිතිය දෙන එක වැදගත්.

හැමෝටම නොමිලේ උගන්නන්න පුලුවන් නම් ඒක තමයි හොඳම. ඒත්, අපේ රටේ ආර්ථිකේ එක්ක, තියෙන ගසා කෑම් එක්ක ඒක කරන්න බෑ කියන එක පිලිගන්න ඕනේ.

අධ්‍යාපණේ වෙනුවෙන් වියදම් කරන්න පුලුවන්, වියදම් කරන මධ්‍යම පංතියක් අපේ රටේ ඉන්නවා. මම කතා කරන්නේ රට යවලා ලමයින්ට උගන්වන ධනපතියෝ ගැන නෙවෙයි. ශාන්ත තෝමස්, රෝයල්, ආනන්ද, මියුසියස් වගේ ඉස්කෝල ගැන. ඒවගෙන් සමහර ඉස්කෝල පෞද්ගලික ඉස්කෝල, ආණ්ඩුවේ විෂය නිර්දේෂ උගන්වන. සමහර ඒවා ආණ්ඩුවේ ඉස්කෝල. ඒත් ඒවා ගමේ ගොඩේ ඉස්කෝල වගේ නෙවෙයි. ඒවට යන්න මිනිස්සු කැමැත්තෙන් විශාල ආධාර දෙනවා පාසල් අරමුදලට.

හැබැයි ඒ සල්ලි ගුරුවරුන්ට ලැබෙන්නේ නෑ. අයතා ක්‍රමේකට ගත්තේ නැත්තම්. වෙනත් පාසල් වලට ලැබෙන්නෙත් නෑ. ඉතින් ඔය ක්‍රමේ වෙනුවට, ඒ ඒ පාසලේ තියෙන පහසුකම් අනූව හරි, දිස්ත්‍රික්කේ අනූව හරි කොහොම හරි, එක් ආර්ථික මට්ටමකට වඩා උඩින් ඉන්න පවුල් වල දරුවන් ගෙන් මුදලක් අය කරලා ඉගැන්නුවොත්, ඒ මුදල දුෂ්කර පාසල් දියුණු කරන්නත්, ගුරුවරුන්ගේ පඩි වැඩි කරන්නත් යොදවන්න පුලුවන් නේද?

විශ්ව විද්‍යාල පද්ධතියටත් මේ ක්‍රමේට සමාන දෙයක් කරන්න පුලුවන්. විශ්ව විද්‍යාල සිසුන්ට අර්ධ කාලීන රැකියා කරන්නත්, අධ්‍යාපණ වියදම් සඳහා අඩු පොලී ණය ලබා ගන්නත් ආණ්ඩුව පහසුකම් සපයා දෙන්න ඕනේ... ඒ ණය රැකියා කරන කාලේක ගෙවන්න. එහෙම කරලා, විශ්ව විද්‍යාල අධ්‍යාපණේට සාධාරණ මුදලක් අය කරාට කමක් නෑ. දැනටත් ආණ්ඩුවේ විශ්ව විද්‍යාල හැම එකකම පශ්චාත් උපාධි සඳහා අයකිරීම් කරනවා - ඒක සාධාරණ අය කිරීමක්.

එහෙම කරොත්, විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසු කම් ලබන හැමෝටම ඒ සඳහා අවකාශ සලසන්න පුලුවන් වේවි. දැනට ඒ සඳහා අවකාශ ලැබෙන්නේ 16% විතර පමණයි.

මේ 6% ඉල්ලීම, දැනට තියෙන මඩ ගොහොරුව තවත් මඩ කිරීමක් මිසක් අධ්‍යාපණ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට මම දකින්නේ නෑ.

මේ 1800 ගනන් වල රුසියාව නොවෙයි, සමාජයේ දුප්පතුන් සහ පොහොසතුන් පමණක් සිටිය.. මේ සමාජයේ සැලකිය යුතු ප්‍රමාණයක් මධ්‍යම පාණ්තිකයින්, භාණ්ඩ හා සේවා සඳහා සාධාරණ මිලක් ගෙවිය හැකි සහ එසේ ගෙවීමට කැමති...