Friday, August 05, 2011

ඇයට කුමක් වීද?


2007 වසරේ මාව ඇමෙරිකාවට යැව්වා ඒ කාලේ මම වැඩ කරපු ඔපීසියෙන්. මුලින් විස්කොන්සින් ප්‍රාන්තයේ මිල්වූකී වල මට මාස පහක් විතර ඉන්න උණා. මට නම් මිල්වූකි මෙලෝ රහක් නැති පලාතක්. මම එහෙට ගියේ 2007 දෙසැම්බර් පළමුදා, එදා එහෙට හිම කුණාටුවක්. මම එහෙන් ආවේ 2008 අප්‍රේල් මැද, එදත් හිම කුණාටුවක්. එහේ හිටිය මාස පහ හමාරම, හිම හිම හිම.

එහේ අපේ කණ්තෝරුවෙම තව අය හිටියත් මම නැවතිලා හිටියේ තනියෙන් අපාර්ට්මන්ට් එකක් අරන්, මම පෞද්ගලිකත්වයටත් නිදහසටත් කැමති නිසා.

කොහොමින් හරි අප්‍රේල් වල මම ගියා නිව්යෝක් නගරයට. එහේ මම වැඩ කලාට අපාර්ට්මන්ට් එකක් ගත්තේ නිව් ජර්සි වල. එහෙත් ඔෆිස් එකේ අය හිටියාට මම නැවතුනේ තනියෙන්. මම එහේ ඉඳලා නිව්යෝක් වල වැඩට ගියේ ආවේ බස් එකේ.

වසන්තය ඉවර වෙන කාලේ විතර, එක සෙනසුරාදාවක, මම නිව්යෝක් නගරයේ රස්තියාදුවක් යන්න හිතාගෙන ගිහින් බස් හෝල්ට් එකට වෙලා හිටියා. ගෙදර ඉන්න කම්මැලි හිතුනම මම ඒ දවස් වල කරන්නේ ඒක. මම බස් සීසන් ගන්නේ මාසෙටම, ඉතින් ගමනට වැඩිපුර වියදම් වෙන්නේ නෑ. අනික නිව්යෝක් නගරේ බලන්න ජාති හෙන ගොඩයි. ඇවිදලා කෙලවරක් කර ගන්න බැරි උනා මට එහේ අවුරුද්දක් විතර ඉඳලත්.

ඉතින් ඔය බස් හෝල්ට් එකේ තියෙනව බංකු තුනක්. මම යද්දී දෙන්නෙක් ඉඳගෙන හිටියා. ඉතුරු එකේ මම ඉඳ ගත්තා. සෙනසුරාදා ඉරිදා දවස් වලට බස් යන්නේ පැය දෙකෙන් දෙකට විතර. ඉතින් මට කලින් බස් එක මිස් වෙලා තිබ්බ නිසා සෑහෙන වෙලාවක් ඔතන ඉන්න උනා. ඔහොම ඉද්දී ඔතෙන්ට ආව සෑහෙන වයස සුදු නෝනා කෙනෙක්. ඉතින් එයා හිටන් ඉද්දි මට පුලුවනෑ ඉඳන් ඉන්න, ඉතින් මම නැගිටලා දුන්නා පුටුව. එයාට හෙන පුදුමයි. ඉතින් එයා මගේ රට තොට අහලා මාත් එක්ක කතාවට වැටුනා. එයා නැගෙනහිර යුරෝපීය රටක. පොඩි කාලෙම ඇමෙරිකාවට ඇවිත්, එහෙන් කසාද බැඳලා නැවතිලා. දැන් මහත්තයා නෑ, ළමයි රටේ ඈතට ගිහින්. එයා තනියම, මම ඉන්න අපාර්ට්මන්ට් වලම නැවතිලා ඉන්නේ.

එදයින් පස්සේ, ඉඳලා හිටලා අපි බස් හෝල්ට් එකේ දි හම්බුණා. බස් එකේ එක ලඟ ඉඳගෙන අපි අපේ රටවල් ගැන, ළමා කාලේ ගැන, ඇමෙරිකාව ගැන කතා කරා. ඇගේ ගෙදර ඇවිත් යන්න කියලා ඈ මට ආරාධනා කරත්, මම ගියේ නෑ. මම මිනිස්සු එක්ක බොහොම සීමිත සම්භන්ද කම් පවත්වන කෙනෙක්..

කොහොම හරි, මම ලංකාවට එන්න දවස් දෙකකට කලින් මට ඈව හම්බුණා. මම ඈට කිව්වා, මම ලංකාවට යන බව. මම සතුටින්ද දුකෙන්ද යන්නේ කියා ඈ අහුවා. මම කිව්ව මගේ අම්මලා අප්පච්චිලා දකින්න මම ආසාවෙන් ඉන්නවා කියලා. ඈ මට සුභ පතලා, වෙන විස්තර කතා කරා.

අපි වෙන් වෙන මොහොතේ ඈ මගේ අතින් අල්ලගෙන කිව්ව "ඔබ ආයේ ඇමෙරිකාවට ආවත්, ඔබව දකින්න මම ජීවතුන් අතර ඉන්න එකක් නෑ, ඔබ බොහොම හොඳ ළමයෙක්, ඔබට දෙවි පිහිටයි" කියලා. ඇගේ වයසක දෑසින් කඳුලු හෝ ගාලා ගලාගෙන ගියා.

නොදන්න රටක, නොදන්න අම්මා කෙනෙක්, මාව ආයේ දකින්න වෙන්නේ නෑ කියලා ඒ විදිහට දුක් වෙලා අඬයි කියලා මම බලාපොරොත්තු උනේ නෑ. මගේ ඇහෙනුත් ඉබේටම කඳුලක් වැටුණා.

ඇයගේ ඊමේල් ලිපිනයක් වත්, දුරකථන අංකයක් වත් මට ඉල්ල ගන්න බැරි උනා. අඩුම තරමින් ඇගේ නම වත් මට හරියට මතක හිටලා තිබෙබේ නෑ. ඈ නම නම් මුල් දවසේ කිව්ව. හුරු නමක් නෙවෙයි මතක හිටින්න.

දැන් මම ලංකාවට ඇවිත් සෑහෙන කල්. ඒත් ඉඳලා හිටලා මට තාම ඒ වයසක මණුස්සයාව මතක් වෙනවා. ඒ වෙනකොටත් එයාට අසූව පැනලා. දැන් ඉන්නවා ද දන්නෙත් නෑ. පව්..

No comments:

Post a Comment